සොබාදහමේ අපූර්ව නිමැවුම “මහ හැඩයා”
ශ්‍රී ලංකාවේ ශාක ප්‍රජාව අතර හමුවන අතිශය දුර්ලභ වටිනා ශාකයක් වන මහ හැඩයා සොබාදහමේ අපූර්ව නිමැවුමකි. ස්වභාවික පරිසරයේදී දුලභ ශාකයක් වන මහ හැඩයා, සිහිල් සෙවනැති අඳුරු භෞමික පරිසරවල ධාරක ශාකයන් මත වැඩෙන අපිශාකයක් ලෙස හෝ ගලක් උපස්ථරය කරගෙන ගල්මත හෝ පාසි සහ අනෙකුත් අපිශාක අතරේ වාර්ථා වේ. LYCOPODIACEAE කුළය (Family: Lycopodiaceae P.Beauv. ex Mirb) යටතේ වර්ග කර ඇති මහ හැඩයා, උද්භිද විද්‍යාත්මකව Phlegmariurus phlegmaria (L.) Holub (Huperzia phlegmaria (L.) Rothm., Lycopodium phlegmaria L.) නමින් හඳුන්වනු ලබයි. මල් හෝ බීජ හට නොගන්නා මෙම ශාකය බීජාණු මගින් ප්‍රචාරණය සිදුවේ.
ව්‍යාප්තිය:— පහතරට තෙත් කලාපයේ වර්ෂා වනාන්තරවල, කඳුකර හා උප කඳුකර වනාන්තරවල ව්‍යාප්ත වී ඇති මහ හැඩයා සිංහරාජය රක්ෂිතය, ශ්‍රී පාද ස්වභාව රක්ෂිතය, කිතුල්ගල, කන්නෙලිය, නාකියාදෙණිය වනාන්තර වලින්ද, නිල්ගල, රතුගල, හොර්ටන්තැන්න, හග්ගල දැඩි ස්වභාව රක්ෂිතය හා ඒ ආශ්රිත වනාන්තර වලින්ද හමුවේ. ශ්‍රී ලංකාවෙන් පිටත ඉන්දියානු සාගර කලාපයේ දූපත් ආශ්‍රිතව, මැඩගස්කරය, හිමාලය ආශ්රිත වනාන්තර සහ පැසිපික් කලාපයේ දූපත් ආශ්රිත වර්ෂා වනාන්තරවල වාර්ථා වේ.
ශාක විලාසය:— මහ හැඩයා ශාකයට සත්‍ය මූල පද්ධතියක් ඇත. දිගටි වායව කඳන් ධාරක ශාකවලින් සෙන්ටිමීටර 80ක් පමණ පහළට එල්ලී වැඩේ. පත්‍ර ලන්සාකාර වන අතර සර්පිලාකාර පත්‍ර වින්‍යාශය දරයි. වායව කඳන් අග්‍රස්ථයේ බීජානුධානි හටගනී.
සංරක්ෂිත තත්වය:— මහ හැඩයා ශාකය 2020 ජාතික රතු දත්ත ලේඛණයට අනුව Vulnerable (VU) එනම්, වඳවීයාමේ අවදානමට ලක් වූ ශාකයක් ලෙස වර්ග කර ඇත.
නීතිමය ආරක්ෂාව:— මෙම ශාකය වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ VIII වන උප ලේඛණයෙන් ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර ඇත. ඒ අනුව මහ හැඩයා ශාකයක් ඉදිරීම, විනාශ කිරීම, රැගෙන යාම, ප්‍රවාහනය, විකිණීම, විකිණීමට ප්‍රදර්ශණය කිරීම හෝ ශාකයට හානි කරණ ක්‍රියාවක් සිදුකිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීය.
මහ හැඩයා ශාකය අපිශාකයක් නිසා එය දරා සිටින ධාරක ශාකයටද ඒ හා සමානව නීතිමය ආරක්ෂාව හිමිවේ. එනම් ධාරක ශාකය ආවේණික ශාකයක් වුවත්, ආවේණික නොවන දේශීය ශාකයක් වුවත්, දේශීය නොවන වගාකල විදේශීය ශාකයක් වුවත් මහ හැඩයා ශාකය දරා සිටින කාලය තුල ධාරක ශාකයට, මහ හැඩයා ශාකයට හිමිවන නීතිමය ආරක්ෂාව හිමිවේ. ඒ අනුව මහ හැඩයා ශාකයට හෝ එය දරා සිටින ශාකයට හානියක් සිදු කිරීම, සිර දඬුවමක් හෝ දඩ මුදලක් මෙන්ම සිර දඬුවමක් සහ දඬ මුදලක් මඟින් දඬුවම් ලැබිය හැකි වරදකි.
ශාකයේ වටිනාකම:— සොබාදහමේ චිර පැවැත්ම උදෙසා නිහඬ මෙහෙයක් ඉටු කරන මහ හැඩයා සංවේදී පරිසර පද්ධතිවල ජෛව දර්ශකයක් මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදී සර්ප විෂ සඳහා සහ තෙල් වර්ග නිස්සාරනය සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරයි.
මහ හැඩයා ශාකය මුහුණ දෙන ගැටළු:— ඖෂධ සහ විසිතුරු ශාක ලෙසින් නීති විරෝධීව ස්වභාවික පරිසරයෙන් ඉවත් කිරීම, පරිසර දූෂණය, වාසස්ථාන අහිමිවීම මහ හැඩයා ශාකය මුහුණ දෙන ප්‍රධාන තර්ජන වේ.
සංරක්ෂණ ක්‍රියාමාර්ග:— ශාක ව්‍යාප්තිය පිලිබඳ ගවේෂණ කටයුතු පුළුල් කිරීම මගින් වාසස්ථාන සංරක්ෂණයට පියවර ගැනීම, මෙම ශාක ව්‍යාප්තිය ආශ්රිත ප්‍රදේශවල සිදූවන මිනිස් ක්‍රියාකරකම් පිලිබඳ අවධානයෙන් කටයුතු කිරීම, මේ පිලිබඳව පාසැල් සිසුන් හා මහජනතාව දැනුවත් කිරීම තුලින් මේ ශාකය හෙට දවස වෙනුවෙන් අද සුරක්ෂිත කරමු.
සටහන හා ඡායාරූප:—
ආර්. එම්. ආර්. නිලන්ති රාජපක්ෂ
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
Comments
Post a Comment