නාගරි කරණයෙන් ඔත්පල සොබාදහම සුවපත් කරනා හොර කැළය ....

සදමල් රශ්මී ශ්‍රී බුද්ධික
වනසත්ව අඩවි සහකාර
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 


බස්නාහිර පළාතේ ජන ගහණය වැඩිම ගම්පහ දිස්ත්‍රික්කය යනු කාර්ය බහුලත්ත්වයේ උපරිමය සනිටුහන් කළ නගරයක් බව නොරහසකිමිනිසුන් තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සදහා ඔබ මොබ වීදි ඔස්සේ ඇවිද යන්නේ ඇවිස්සුණු කුහුඹු ගුලක කුහුඹුවන් රැළක් සිහියට නගමින්යඑනමුදු නගරය මධ්‍යයේ සිට නගරයෙන් පිටතට විහිදුණු මර්ග දිගේ ටික දුරක් ඇවිද යා හැකි නම් කාර්යබහුලත්ත්වයෙන් පිරිනු නාගරික මානසිකත්ත්වයෙන් මිදීමේ හැකියාව ඇතඊට හේතුව වන්නේ විසල් වු පරාසයක් පුරාවට විහිදි ගිය කුඹුරු යායන් ගෙන් සුසැදි තෙත් බිම් පරිසර පද්ධතීන් එක්ව මතු කරනා සුන්දරත්ත්වය විසින් නාගරිකත්වයේ ඇති ගොරසැඩි බව ගිල ගන්න නිසාවෙන්ය.

රටකට අනන්‍ය වුණු සොබා සුන්දරත්ත්වය සංවර්ධනය නාමයෙන් ගිලිහි යන්නේ සීග්‍රගාමීවය. සංවර්ධනය වන රටකට එය සාමාන්‍ය තත්ත්වයකිශ්‍රී ලංකාව බදු රටකට එම තත්ත්වය බෙහෙවින්ම බලපානුයේ රටට හිමි භූමිය සීමිත බැවින්ය. වැඩි වන ජන ගහණයට සාපේක්ෂව මේ සීමිත වු ඉඩ කඩ තුළ ඉටු කර ගත යුතු මානව අවශ්‍යතා අසීමිතය. බොහෝ විට සිදු වනුයේ සංවර්ධනය නාමයෙන් ඉඩක් සොයා ගනු වස් ඉතිරිව ඇති කෑලැ රොදවල් එළිපෙහෙළි කිරීම බව නොරහසකි. ගම්පහ වු කලී තෙත් කලාපයට අයත් කොළ පැහැය රජයන දිස්ත්‍රික්කයක් වුවද, සංවර්ධනය නිසාවෙන් එබදු හරිත පැහැය රැක ගැනීම යනු අභියෝගාත්මක වු තත්ත්වයකි. නාගරික වටපිටාව වටා ඇති පුංචි පුංචි කැලෑ බිම් එළි වෙන්න, එළි වෙන්න ඒවා නිවස්න කර ගෙන වාසය කරන වනසතුන්ට සිදු වන්නේ නාගරීකරණයට නතු වන භූමිය මත මිනිසුන් සමග වාසයට හුරු වීමටය. පුංචි වනරොදවල් වල වාසය කළ සත්තු නගරයට සේන්දු වෙමින් බෝක්කු, කාණු, ගස් බෙන, ගොඩනැගිලි බදු සැගව සිටිය හැකි ස්ථාන වල ජීවත් වීමට පුරුදු වෙති. මෙවැනි ආගන්තුක නවාතැන් හොයා ගෙන වනසතුන් ඇතැම් විට මිනිස් ජනාවාස සමීපයට පවා පැමිණෙන අතර, එවිට එබදු සිදු වීම් අර්ථ ගැන්වෙන්නේ ජන ජීවිතයට සිදු වන බාධා වීම් ලෙසින්ය.

නාගරික වනජීවී - මිනිස් ගැටුමක ආරම්භය නිර්මාණ වන්නේ ඒ අයුරින්ය.

 

උලමා - Spot-bellied Eagle-owl
ඡායාරූපය - රෝහිත ගුණවර්ධන

නාගරික වටපිටාවකට යාබදව වාසය කරනා වනසතුන් මාර්ග හරහා දිව යන විට රිය අනතුරු වලට ලක් ව මිය යාම, අබාධ තත්ත්වයන්ට පත් වීම, මිනිස් පහරදීම් නිසා තුවාල සිදු වීම, වාසස්ථාන එළි පෙහෙළි වී  අවතැන් වීම නාගරික වටපිටාවක් තුළදී අත්විදින්නට සිදු වන සාමාන්‍ය වු තත්ත්වයක් බවට පත්ව ඇත. එබදු අයුරින් තුවාල වන, අවතැන් වන වනසතුන් ඇතැම් විට කාගේවත් අවධානයට යොමු නොවී මිය යන අවස්ථාවන්ද තිබේ. මන්ද යත් මෙම සතුන් නාගරික කලබලකාරී වටපිටාව තුළ දිවි ගෙවන්නේ සැගවුම් පොළවල් තුළය. කලබල අඩු රාත්‍රියට පමණක් එළියට පහළියට පැමිණෙන්නේ ආහාර සොයා ගෙනය. එවැනි අවස්ථාවකදී තුවාල වු, ආබාධ තත්ත්වයට ලක් වු, වනසතෙක් කාරුණික මිනිසෙකුගේ ඇස ගැටුණොත් එම සතාව රැගෙන විත් ප්‍රතිකාර සදහා භාර දීමට ඔහු දෙවරක් නොසිතන බවත් සටහන් තැබිය යුතුය. දෛනිකව එවැනි මැදිහත් වීම් කාරුණික මිනිසුන්ගේ මූලිකත්ත්වයෙන් සිදු වේ.

 

අපගේ කථාවට පූර්විකාවක් ලෙස මෙම ලිපියේ ආරම්භයේ සිට ඉහත හැදුණුම දක්වා විස්තරයක් එකතු කළේ වනසතුන් විවිධ අනතුරුවලට ලක් වන ගම්පහ නගරයට යාබදව, එවැනි සතුන් ප්‍රතිකාර සදහා යොමු කිරීමට භාර ගන්නා ස්ථානයක් පිහිටා ඇති බැවින්ය. ගම්පහ නගරයේ සිට නුවර පාරේ නිට්ටඹුව නගරයෙන් වේයන්ගොඩ දෙසට හැරි ඉදිරියට පැමිණෙන විට පින්නගොල්ල මංසන්ධියෙන් හමු වන අතුරු මාර්ගයේ මීටර් 600 ක් පමණ යන විට හොරගොල්ල වනජීවී කාර්යාලය හමුවේ. මෙම ස්ථානය අවතැන් වු, තුවාල වු වනසතුන් භාර ගන්නා ස්ථානයක් ලෙස තතු දත් අය අතරේ ප්‍රකටය. එබැවින් හොරගොල්ල වනජීවී කාර්යාලය මගින් ඉටු වන එම සේවාව විනා, ජෛව විවිධත්ව සංරක්ෂණයට ඉටු වන අනැගි සේවය ගැන අවධානය යොමු නොවනා තරම්ය. එනම් මෙම භූමියේ පවතින සුවිශේෂි වු ජෛව විවිධත්ව වැදගත්කම පිළිබදව බොහෝ දෙනෙක් අවධානය යොමු නොකිරීම කණගාටුදායක තත්ත්වයකි.


ඡායාරූපය - නුවන් ජයවර්ධන

නාගරික කාර්යබහුලත්ත්වය රජයන වටපිටාවක ඊට යාබදව පිහිටා ඇති අක්කර 33 ක පමණ වපසරියේ විහිදුණු මේ පුංචි බිම් කඩට ඇතුළු වු ඇසිල්ලේ සවන් පත් අතරේ රැව් දෙනුයේ රැහැසි නාදයයි. සියනෑ කෝරළයේ නැගෙනහිර ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාශයට අයත් උඩහපත්තුවේ පිහිටි නම්බදළුව ග්‍රාමයට අයත් හෙක්ටයාර් 13362 ක බිම් කඩ අතීතයේ හදුන්වා ඇත්තේ හොර කැලය යන නමින්ය. නමට සරිලන අයුරින්ම ඒ බව සනාථ කිරීමට මෙන් අදටත් මේ භූමියේ ප්‍රමුඛ ශාකය බවට පත් වන්නේ හොර ශාඛයය. වර්ෂ 1973 ඔක්තෝබර් මස 05 වැනි දින අභය භූමියක් ලෙස පළමුවත්, වර්ෂ 2004 ජුලි මස 28 වැනි දින හොරගොල්ල ජාතික උද්‍යානය ලෙසත් මෙම භූමිය ප්‍රකාශයට පත් වන්නේ එහි පවත්නා ජෛව විවිධත්ත්වය සංරක්ෂණය කරන අටියෙන්ය.

 

හොර කැළය අක්කර 33 කට ආසන්න වපසරියේ ව්‍යාප්ත කුඩා බිම් කඩක් වුවද, එය ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් වන්නේ, මේ බිමේ  පවතින සත්ත්ව හා ශාක විශේෂ විවිධත්ත්වය දිගු කාලීනව ආරක්ෂා ගැනීමේ මුඛ්‍ය පරමාර්ථය පෙරදැරිවය. ඉන් පරිබාහිර වු වැදගත්කමක් ලෙස අධ්‍යාපන, පර්යේෂණ හා පරිසරය පිළිබදව ජනතාවට දැනුම ලබා දීමත් සටහන් කළ යුතුමය. නාගරිකත්ත්වයට කොටු වු මානසිකත්ත්වයෙන් අත්මිදි මද අස්වැසිල්ලක්, මානසික සුවයක් ලබා ගන්න කැමති සොබාදම් ප්‍රේමීන්ට සොබා සුන්දරත්ත්වය විද ගැනීමට සුදුසු පසුබිමක් නිර්මාණය කිරීමද හොරගොල්ල ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ තවත් අතුරු අරමුණකි.

 

හොර ශාකය (Dipterocarpus zeylanicus)
ඡායාරූපය - නුවන් ජයවර්ධන

මෙම ජාතික උද්‍යානය පිළිබදව ජනතාවගේ අවධානය යොමු වන්නේ ඉතාමත් අල්ප වශයෙනි. බොහෝ දෙනෙක් හොරගොල්ලට පැමිණෙන්නේ තුවාල වුණු හෝ අවතැන් වුණු වනසතෙක් භාර දෙන අදහසින්ය. නමුත් තෙත් කලාපය තුළ පිහිටා ඇති හොරගොල්ල වනපෙත සතු ජෛව විවිධත්ත්වය ගැන දන්නා පිරිස් පරිසර සුවතාවය විද ගනිමින් නාගරික මානසිකත්වයෙන් මදකට මිදෙනු රිසියෙන් හොරගොල්ල සොයා පැමිණෙයි. එසේ පැමිණෙන්නන් වනජීවී තොරතුරු මධ්‍යස්ථානයට ගොඩ වෙමින් පරිසරය ගැන නොදත් දේ දැනගැනීමටද අමතක නොකරයි. ඒ ගහ කොළින් හෙඹි මෙම භූමියේ පවත්නා සිසිල් සුවදායි බව ගතට ඔසුවක් බව හොදින් දන්නා බැවින්ය.

 

තෙත් සදාහරිත වනාන්තර ලක්ෂණ වලින් හෙඹි වනයේ හොර (Dipterocarpus zeylanicus) ශාකයට අමතරව ප්‍රමුඛව ව්‍යාප්තව ඇති ශාක විශේෂ කිහිපයක්ම හමු වේ. කැකුණ - Canarium zeylanicum, ගොඩපර - Dillenia retusa, කිතුල් - Caryota urens, බට - Ochlandra stridula, නැදුන් - Pericopsis mooniana, ඇටඹ - Mangifera zeylanica, ගල් කරද - Humboldtia laurifolia, රුක් - Horscieldia iryaghedhi, අන්කෙන්ද - Acronychia pedunculata, මිල්ල - Vitex pinnata, මූණමල් - Mimusops elengi, බූ දෙල් - Artocarpus hirsutus, පලල Xanthophyllum zeylanicum වැනි ශාක වනපෙතේ තම ව්‍යාප්තිය හොදින් තහවුරු කර ගෙන සිටියි.

 

පලල (Xanthophyllum zeylanicum)
ඡායාරූපය - නුවන් ජයවර්ධන

බලු නකුට (Dichapetalum gelonioides
ඡායාරූපය - නුවන් ජයවර්ධන

වටැස්ස (Drosera burmanni)
ඡායාරූපය - රෝහිත ගුණවර්ධන 

විසල් ශාක කදන් සිප වැළද ගනිමින් වියන් ස්ථරය දක්වා වර්ධනය වු වැල් විශේෂත් වනය තුළදී  ප්‍රමුඛව නිරීක්ෂණය කළ හැකිය. කරබඹර - Uvaria semecarpifolia, කොරස වැල් - Tatracera sarmentosa, මා වේවැල් - Calamus zeylanicus, පෝට වැල් - Pothos scandens, පුස් වැල් - Entada rheedei  ඒ අතර හමු වේ. හොරගොල්ල වන බිමට ඇතුළු වු පසු විසල් ශාක පිළිබදව විතරක්ම අවධානය යොමු කිරිම ප්‍රමාණවත් වන්නේ නැත. බිම තණ පළස් මත්තේ පවා ඇත්තේ සුවිශේෂි වු ජෛව විවිධත්ත්වයකි. බිම් මට්ටමේ ව්‍යාප්තව ඇති තණ පලස් අතරේ පවා ශාක ලොව මාංශ භක්ෂඛයින් ලෙස විරුධාවළිය ලත් ශාක විශේෂ කිහිපයක්ම දිවි ගෙවන සැටි හොදින් නිරීක්ෂණය කළ විට අවබෝධ කර ගත හැකියකදුලැස්ස - Drosera indica, වටැස්ස - Drosera burmanni, වැනි මාංශ භක්ෂඛ පැලෑටිද හොරගොල්ල සතු ශාක විවිධත්ත්වයට එකතු කරන්නේ අපූර්වත්ත්වයකි.

දඬු ලේනා (Ratufa macroura) 
ඡායාරූපය - නුවන් ජයවර්ධන


උගුඩුවා (Paradoxurus hermaphoditus)
ඡායාරූපය - රෝහිත ගුණවර්ධන

හොරගොල්ල සත්ත්ව විවිධත්ත්වය ගැනද අවධානය යොමු කළ යුතුමය

. ක්ෂිරපායි සත්ත්වයින් අතරේ හදුන් දිවියා - Prionailurus viverrinus, කොළ දිවියා - Prionailurus rubiginosus, මීමින්නා - Moschiola kathygre, දඩු ලේනා - Ratufa macroura, නරියා - Canis aureus ප්‍රමුඛ වනසතුන් ලෙස වාර්තා වී ඇත

ඇහැටුල්ලා (Ahaetulla nasuta)
ඡායාරූපය - රෝහිත ගුණවර්ධන


පොළොන් තෙලිස්සා (Hypnale hypnale)
ඡායාරූපය - නුවන් ජයවර්ධන

නාගරික වටපිටාවකට මැදිව පිහිටා ඇති තෙත් කලාපයීය වනපෙතක් තුළ වාර්තා වන සර්ප විශේෂ විවිධත්ත්වයද ඉතාමත් වැදගත්වේ. පිඹුරා - Python molurus, තිත් පොළගා - Daboia russelii, ගැරඩියා - Ptyas mucosa, පොළොන් තෙලිස්සා - Hypnale hypnale, දෙපත් නයා - Cylindrophis maculata, පොල් මල් කරවලා - Chrysopelea ornata, ඇහැටුල්ලා - Ahaetulla nasuta, මුදු කරවලා - Bungarus ceylonicus, නයා - Naja naja වනපෙත ආශ්‍රිතව වාර්තා වී ඇත.

 

අළු කෑදැත්තා (Ocyceros gingalensis)
ඡායාරූපය - නුවන් ජයවර්ධන

හිස කළු කොණ්ඩයා (Pycnonotus melanicterus)
ඡායාරූපය - නුවන් ජයවර්ධන


වනය වර්ණවත් කරමින් නිහැඩියාව බිදලා වනයට සජීවී බවක් එකතු කරනුයේ විහග සමාජයයි. හොරගොල්ල තුළ ඇවිද යන අතරේ හමු වන පක්ෂි විවිධත්ත්වයද වනයේ ස්වභාවික මං පෙත ඇසුරේ ඇවිද යන්නෙකුගේ අවධානය ඇද ගැනීමට සමත්ය. ශ්‍රී ලංකා අළු කෑදැත්තා - Ocyceros gingalensis, ශ්‍රී ලංකා ගිරා මලිත්තා - Loriculus beryllinus, හිස කළු කොණ්ඩයා - Pycnonotus melanicterus, ශ්‍රී ලංකා අළු ගිරවා - Psittacula calthropae, ශ්‍රී ලංකා මුදුන් බොර දෙමලිච්චා - Pellorneum fuscocapillus, ආසියානු කොහා - Eudynamys scolopaceus, ඇටි කුකුළා - Centropus sinensis නිරීක්ෂණය කළ හැකිය.

 

අළු ගිරවා (Psittacula calthropae)
ඡායාරූපය - නුවන් ජයවර්ධන

හොරගොල්ල සතු ගොඩ බිම ජෛව විවිධත්ත්වය  ගැන අවධානය යොමු කරන්නාක් මෙන්ම හමු වෙන ජල ප්‍රබවය අභ්‍යන්තරයටත් අවධානය යොමු කළ යුතුය. එවිට මිරිදියේ වාසය කරන මත්ස්‍ය විශේෂයන් ගැන අවබෝධයක් ලබා ගත හැකිය. මගුරා - Clarias brachysoma, මඩ කනයා - Channa orientalis, දණ්ඩියා - Rasbora dandiya, අහිරාවා - Lepidocephalichthys thermalis ජල තලය තුළ දිවි ගෙවයි.

 

අහිරාවා (Lepidocephalichthys thermalis)
ඡායාරූපය - නුවන් ජයවර්ධන

හොරගොල්ල ජාතික උද්‍යානය යනු නාගරීකත්ත්වයට නතු වු ගම්පහ දිස්ත්‍රීක්කයට සොබාදහමින් ලැබුණු අපූරු දායාදයක් ලෙසද අර්ථ දැක්විය හැකිය. මෙම වටිනාකම් රැස සැගව ගත් බිම අතීතයේ පැවතුණේ රටේ වැදගත් පවුල් පසුබිමක් උරුම වුණු බණ්ඩාරනායක වලව්වට අයත් බිම් කඩක් ලෙසින්ය. හැත්තෑව දශකයේ ගෙන එන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ මේ භූමිය රජය සතු බිම් කඩක් බවට පත් විය.

හොරගොල්ල ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කිරීම හා බැදුණු අතීතය පිළිබදව ගවේෂණය කිරීමේදී වර්ෂ 19701975 කාල සීමාව තුළ වනජීවී සංරක්ෂක අධ්‍යක්ෂ ලෙස සේවය කළ එස්.ඩී. සපරමාදු මහතා විසින් තැබූ අපූරු සටහනක් හමු වේතම ධූර කාලය අළලා ලැබූ අත්දැකීම් පාදක කොට ගෙන සම්පාදනය කර ඇති ශ්‍රී ලංකා වනජීවීන් අතර කෘතියේ හොරගොල්ල වනජීවී රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම ගැන එතුමන් තබා ඇත්තේ මෙබදු සටහනකි.

 

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය
 (අන්තර්ජාල සේයා රූ)

එක් දිනක් උදෑසන 6 ට පමණ මගේ දුරකථනය නාද වුණා. ශූභ උදෑසනක්, ඔය සපරමාදු මහත්තයාද? ඒ කටහඩ මට හුරු පුරුදු එකක්. ශුභ උදෑසනක් මැතිනියනි, සපරමාදු තමයි කථා කරන්නේ. ඔබේ වනජීවීන් පිළිබද නීතිය අනුව තවත් ප්‍රදේශ උද්‍යාන ලෙස ප්‍රකාශ කිරීමට ඔබ දක්වන උනන්දුව මම දන්නවා. නොඉදුල් මූකලාන වැවුණු ඉඩම් කුට්ටියක් මටත් තියෙනවා. මං කැමතියි එය යම් විදියක රක්ෂිතයක් වගේ වහාම ප්‍රකාශයට පත් කරන්ට. ඔබට එය කළ හැකිද?

 

එය විශාල එකක්ද මැතිණියනි, එය පිහිටා ඇත්තේ කොහේද?

 

එය තියෙන්නේ හොරගොල්ලෙ වලව්ව පිටිපසමයි. අක්කර 40 ක් හෝ 50 ක් විතර වෙන ඉඩමේ පරම්පරා ගණනාවක් පුරා හිමිකරුවන් වුණේ මගේ මාමා වුණු මහා මුදලිතුමායි. මේ ඉඩම මූකලාන යටතේම සංරක්ෂණය කළා. මා සිතන අන්දමට එය දඩබිම් රක්ෂිතයක් ලෙසයි වෙන්කර තිබුණේ. එහෙත් දැනට කිසිවකු එහි දඩයමට යන්නේ නෑ. එහි ප්‍රමාණය අක්කර 50 කට කිට්ටු නම් කළ යුතු හොදම දෙය සත්ත්ව හා ශාක සම්පත් ආරක්ෂිත කිරීමේ ආඥාපනත යටතේ එම ඉඩම අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කිරිමයි.

 

ඒ අනුව 1972.10.05 වැනි දින සිට හෙක්ටයාර් 13.3 කින් සමන්විතවු හොරගොල්ල අභය භූමියක් බවට ප්‍රකාශයට පත් විය. මෙය ආදර්ශයට ගනිමින් ජේ.පී. ඔබේසේකර මහතාද තම ඉඩමක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැමැත්ත පළ කරන ලදී. ඒ අනුව හොරගොල්ල අභය භූමිය ප්‍රකාශයට පත් කිරිමට සමගාමීව 1972.10.21 වැනි දින හෙක්ටයාර් 23.5 කින් සමන්විත බිම මහා ඉඹුල්කන්ද අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් විය. මැද රටේ ශාක හා සත්ත්ව අධ්‍යනයන් උදෙසා සැතපුම් 10 ක් ඇතුළත පිහිටි අභය භූමි දෙක ප්‍රමාණවත්ය. මීට සමගාමීව ලැබුණු ඇරැයුම් මත කුඩා කුඩා වනරොදවල් අභය භූමි ලෙස ප්‍රකාශයට පත් කළේ නම් සිදු වන්නේ මුලු සියනෑ කෝරළයම වනජීවී අභය භූමි ලෙස ප්‍රකාශයට පත් කිරීමටයියනුවෙන් සපරමාදු මහතා පසු සටහනක් මේ හා සබැදිව තබා ඇත

 

ස්වභාවික මං පෙතක් 
ඡායාරූපය - නුවන් ජයවර්ධන

තදාසන්න වේයන්ගොඩ, උඩුගම්පොළ, නිට්ටඹුව වැනි කාර්ය බහුලත්ත්වයෙන් පිරිපුන් නාගරික වටපිටාවකට මැදිව පිහිටන හොර කැළය, නාගරික දූෂණයෙන් ඔත්පල වන සොබාදහම යළි සුවපත් කරනා ජෛව ආරෝග්‍ය ශාලාවක් මෙන්ද ක්‍රියාත්මකවේ. හොරගොල්ල වනපෙත සතුව පවතින ජෛව විවිධත්ත්වය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් වන්නේ එබදු පසුබිමක් තුළය. පාගමනින් ඇවිද යා හැකි සොබා මං පෙතේ ඇවිද යමින් හොරගොල්ල වනපෙතේ සැගවුණු සුන්දරත්ත්වය අත් විදින්නට අමතක නොකරන්න. නාගරී කරණයෙන් වට වු පසුබිමක් මධ්‍යයේ පිහිටා ඇති හොරගොල්ල ජාතික උද්‍යානය අවිවේකි මනසට මනා අස්වැසිල්ලක් ළගා කිරීමට සමත්ය. වනපෙතේ ස්වභාවික මං පෙතේ තබනා පළමු පියවරෙන්ම ඒ බව සනාථ වනු නියතයි.  

ඡායාරූපය - රෝහිත ගුණවර්ධන


Comments

Popular posts from this blog

TAXIDERMY

Exacum sessile