Namal

උඩවලවේ සුපිපි නාමල ....  


සදමල් රශ්මි .ශ්‍රී. බුද්ධික (sandamal202@gmail.com)

මව් සෙනෙහසට සම කළ හැකි අන් කිසිවක් හෝ මේ මිහිමත ඇත්ද? ඒ පිය සෙනෙහස විය හැකැයි තව කෙක් තර්ක කළ හැකිය. ඒ කෙසේ වෙතුදු මව් - පිය සෙනෙහස නොඅඩුව විදිමේ භාග්‍ය උදා වු ළමා ළපැටියන් වෙත් නම් ඔවුන් මෙළොව ජනිත වු සැබැ භාග්‍ය වන්තයින් සේද හැදින්විය හැකිය. එසේම මාපිය - දූ දරු සෙනෙහසට නිගරු වන සිදු වීම්ද කාර්ය බහුල වු මිනිස් සමාජය තුළ දී නිරන්තරවම අසන්නට දකින්නට ලැබේ. එවැනි වු අපමණ වු අතපසුවීම් අතරේ දවසැරිය ගෙවනා අයවලුන් අතරේත් මිනිසත් බවට නවමු වු අරුතක් එක් කිරිමට නිබදවම වෙහෙසෙන මිනිසුන්ද අපට හමු වේ. ඔවුන් සතු මනුසත් ගුණ දහම් කෙතරම් ද යත් මිනිසුන්ට පමණක්ම නොව ඒ දයාද්‍ර වු සිත අසරණ භාවයට පත් වු තිරිසන් සතුන් වෙතද යොමු වේ.

වනඅලි රංචුවක නායකත්වය හිමි වන්නේ අත්දැකීම් බහුල ගැහැණු සතෙකුට වන අතර ඈ තම රංචුව පිළිබදව නිරන්තර අවධානයෙන් පසු වේ . එබැවින් රංචුව නියෝජනය කරනා කිසිවෙකුත් හෝ අනතුරකට භාජනය වන තීරණයක් ඇය නොගනියි. පිරිමි පාර්ශවය නියෝජනය කරන්නවුන් ස්වකීය ආලවන්තකම් පෑමට පමණක් මෙවැනි වු රංචුවක් වෙතට ඇදී එන අතර ඔහුගේ ආරාධනය පිළිගන්නා ගැහැණු සත්වයෙකු සමග බාන්හාදකම් බැදීම සිදු වේ. අනතුරුව මෙවැනි වු ආලවන්ත හමු වීම් කිහිපයකින් අනතුරුව එම රංචුව අතැර යළිත් සුපුරුදු තනිකමට පිවිසෙන පිරිමි සතුන් එතැන් පටන් තනිකඩ වනසංචාරයට පිවිසේ. තම ආදරයේ සංකේතය වන කුස පිළසිදගත් දරු ගැබ ක්‍රමානු කූලව මෝරා එත්ම දරු ප්‍රසුතිය සදහා සූදානම් වන ඇතින්නියන් හා කෙණරුන් රංචුවේ සෙසු ගැහැණු සාමාජිකාවන්ගේ අවධානය ලබා ගනියි. ඔවුන් ගේ ආරක්ෂාව පිළිබදව සැවොම එකාවන්ව සොයා බලයි. එයට ද හේතුවක් ඇත. මන්ද යත් මේ රැළ නියෝජනය කරනා සියළුම සමාජිකාවෝ ලේ නෑ කමින්ද සමානයෝ වෙති. එනම් ආච්චි, දුව , නැන්දා, මිණිබිරි, අක්කා, නංගි, ලොකු අම්මා ආදි සවිමත් වු ලේ බැදීමකින් ඔවුන් බැදි සිටියි. එබැවින් තම රැළේ කවරෙකුට හෝ පුංචි පැටියෙක් උපදින්නේ නම් ඔහුගේ ආරක්ෂාව පිළිබදව රංචුවේ සැවොම එකාවන්ව සොයා බලයි. “ඇතිනි රැළේ සැමටම කිරි එරෙයා” පිරුළ ජන ගතව ඇත්තේද මේ හැසිරීම් රටාව මුල් කර ගෙන විය යුතුය.

වනඅලි රංචුවක සෙවණේ හැදී වැඩෙන වනඅලි පැටවෙකුට අවශ්‍ය උපරීම ආරක්ෂාව එම රංචුවෙන් ලැබුණත් එවැනි වු වන අලි රංචු අතරේ දිවිගෙවනා අලි පැටවුන් අතරමං වී හමු වන අවස්ථාවන් ද අපමණවත් වාර්තා වී ඇත. ඉදින් මෙතරම් මව ප්‍රමුඛ රංචුවේ රැකවරණයේ පසු වන කුඩා වනඅලි පැටවුන් රැළෙන් වෙන් ව හමු වීම සාමාන්‍ය තත්වයක් බවට පත් ව ඇත්දෝයි ඇතැමෙකුට සිතිය හැකිය. මේ සියල්ලකටම මිනිසුන් වන අපද යම් තාක් දුරකට හෝ වගකිව යුතුය යන්න සදහන් කළහොත් ඔබ ඊට එකග වන්නේද? එබැවින් බසක් තෙපලිය නොහැකි එවැනි වු අසරණයින්ට පිහිට වීම යමක් කළ හැකි මිනිසුන් වන අපගේ කාර්යයක් ද වන්නේමය. ලංකාව පුරා ව්‍යාප්තව ඇති වනාන්තර ආශ්‍රිතව හමු වන අසරණ වු වනඅලි පැටවුන් රැගෙන විත් ඔවුන් උස් මහත් වන තුරු රැක බලා ගෙන තනිව ජිවත් විය හැකි වයසට එළඹෙත්ම යළිත් වනාන්තරයටම නිදහස් කරනා උඩවලව ඇත් අතුරු සෙවණ වු කලී අසරණ වනඅලි පැටවුන්ගේ අභය ස්ථානය වශයෙන් අප රට තුළ පමණක් නොව ලෝ පුරා ද ප්‍රකටය. ඉදින් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ නවමු වු වනජීවී සංරක්ෂණ සංකල්පය ලොවට ගෙන යාමේ ලා නාමල්ගේ ආගමණයත් යම් තාක් දුරට හෝ බලපාන්නට ඇතැයි යන්න සිතිය හැකිය.

“නාමල්” .... ,

සැබැවින්ම කවුද මේ නාමල්? උඩවලව ඇත් අතුරු සෙවණට පැමිණෙන කාගෙත් නෙතට කදුළක් එක් කිරීමට සමත් වු නාමල් ගේ කතාන්තරය හරහා අපට බෝහෝ දෑ උගත හැකිය. වනයේ අතරමංවු පුංචි අලි පැටවෙක්, මෙදවසදී “නාමල්” නමින් සැමගේ ආදරය දිනා ගනිමින් ආඩම්බරයෙන් හිස ඔසවා ගෙන සිටීම තෙක් වු ගමන් මගෙහි පසු පසින් සිටිනුයේ අධිෂ්ඨානශීලී මිනිසුන් කණ්ඩායමකි. නාමල් ගේ ජීවිතය බේරා ගැනීම සදහා දිවා රූ නොබලා වෙහෙසුණු ඔවුන් තම ශ්‍රමයට සරිලන පැසසුම් හෝ කිසිවිටෙකදී වත් නොපැතූහ.

උඩවලව ඇත් අතුරු සෙවණ පෙර සදහන් කළ පරිදි අභය ස්ථානයක් වශයෙන් හැදින් වීමේ ලා මා තීරණය කලේ යම් කරුණක් ඒ හරහා ස්මතු කරන අටියෙනි. මවගේ උණුසුම පසුබීමේ කිරිඋරමින් සිටින වයසේ පසු වන වනඅලි පැටවෙකු වනයේ අතරමංවීම යනු නියත වශයෙන්ම මරණයට අත වැනීමක්ද වන්නේමය. මන්ද යත් වනාන්තරය යනු අතුරු අන්තරාවන් රැසක් නිරන්තරවම ඔබ - මොබ සරනා ප්‍රදේශයක් වශයෙන්ද හැදින් විය හැකිය. ගලක් පසු පස සිට, මහා වනස්පතියක් මත සි‍ට, පදුරු ගොමුවක් තුළ සිට හෝ දිය කඩිත්තක් මත්තෙහි සිට මරණයේ ඉරණම් කරු අසරණ වු වනජීවීතයන් සොයා පැමිණිය හැකිය. මව් උණුහුමින් මිදී අතරමංවන වනඅලි පැටවුන් පළමුව කරනුයේ යා යුතු මගක් හෝ නොදැන ඉබා ගාතේ දිවීමය. හති වැටෙන තුරු දිව යන ඔවුන් සාගින්දරින් ගත දැවෙන කල අයිනකට වී නිදන්නට සිතයි. ඔය ආකාරයෙන් නිරුපද්‍රිතව දින, දෙක තුන ගත කළ හැකි වුවත් වනය පිළිබදව හරියාකාරව නොදත් ඔවුහු අවසන සිව් පා වාරු නැතිව ඇද වැටෙයි. මිනිසුන් ඇස ගැටෙන මානයක දී නම් ඔවුන්ගේ පිහිටට කවුරුන් හෝ ඉදිරි පත් විය හැකි වුවත් , මිනිස් ඇස නොගැටුණු මහා වනාන්තරය මධ්‍යයේ දී නම් තත්වය ඉදුරාම වෙනස් විය හැකිය.

මෙම කතාන්තරයට අවැසි වස්තූබීජය සපයන “ නාමල් ” මුලින්ම හමු වන්නේ 2012 වසරේ දීය. එනම් වනාන්තරයේ තුවාල වී කෑ මොර ගසනා, අතරමංවු අලි පැටවෙක් පිළිබදව විපරම් කර තොරතුරු දැන ගන්නා ධීවරයෙක් එම පුවත සම්බන්ධයෙන් අම්පාර වනජිවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයට අනුයුක්තව සෙවයේ නියුතු කේ.කේ.උපුල් ප්‍රියංග මහතා වෙත දැනුම් දී ඇත. “ මහත්තයෝ පුංචි අලි පැටෙක් , නාමල්ඔය වැවේ පට්ටිය කිද කණ්ඩියේ කැලැව ඇතුළට වෙන්ට කෑ මොර ගහනවා, මොකක් නමුත් විපැත්තියක්, හනික විපරම් කරලා බලන්ට ” පණිවුඩය ලබා ගත් උපුල් වහාම ක්‍රියාත්මක විය. පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතාටද මේ සම්බන්ධව දැනුම් දීමෙන් අනතුරුව ලද ආරංචිය පිළිබදව විපරම් කිරීම සදහා නාමල්ඔය වනජීවී කාර්යාලයට පැමිණ එහි නිලධාරීන් සමග නාමල් ඔය වැවේ පට්ටිය කිද කණ්ඩියේ කැලෑ ප්‍රදේශය අවට විපරම් කර බලා ඇත.

“අපි හැමෝම එකතුවෙලා කැලැව අවට විපරම් කළා. ඔහොම හෝදිසි කරද්දි ඇහුණා සතෙක් හීන් හඩින් කරන කෙදිරියක්. ආන්න ඒ කෙදිරිය ආපු දිහාට යද්දින් දැක්කා මේ කෙදිරිය එන්නේ කලවැල් ගාලක් අද්දරින් බව. මේ කලවැල් ගාල ළගට ගිහින් බලද්දින් දුටුවේ හරිම දුක හිතෙන සිදුවීමක්. කලවැල් ගාලේ පැටලී හිටියේ වයස අවුරුද්දකටත් අඩු පුංචි අලි පැටෙක්. හරිම දුර්වල තත්වයෙන් තමයි උන්නේ. මොකද මේ වැල් ගාලේ පැටලීමෙන් පස්සේ මෙයා ඒකෙන් ගැලවෙන්නට හරියට මහන්සි වෙලා තියෙනවා. කිරි උරා බොන වයසේ පසු වුණු මේ අලි පැංචා කිරි බොන්නට බැරි වුණු හින්දා උන්නේ හාමතින්. මම හිතන්නේ මෙයා අම්මාගෙන් මග හැරිලා , අතරමං වෙලා, ඔබ - මොබ දුවද්දි මේ කලවැල් ගාලේ පැටලෙන්නට ඇති. ඉතින් අපි හැමෝම යුහුසුළුව ක්‍රියාත්මක වුණා. අසාද්‍ය තත්වයේ සිටි වනඅලි පැටවා පැටලි උන්න කල වැල කපලා ධීවර සමිතියේ බෝට්ටුවකින් තොටුපළට රැගෙන ඇවිත් එතැන ඉදලා අම්පාර පශු වෛද්‍ය ඒකකයේ වාහනයකින් අම්පාර පශුවෛද්‍ය කාර්යාලයට අරගෙන ඇවිත් පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතාගේ මූලිකත්වය යටතේ අවශ්‍ය කරන ප්‍රතිකාර සිදු කළා. එහිදි අලි පැටවාට ලබා දුන් ප්‍රථමාධාර සහ කිරි ආහාර හේතුවෙන් නැගීටීමටවත් නොහැකි තත්වයේ පසු වුණු වනඅලි පැටවා සිව්පා පොළවේ තබමින් නැගිටීමට සමත් වුණා” “ඇත්තටම උපුල් අපි දන්නවා පුංචි අලි පැටියෙක් කියන්නේ එයාගේ අම්මගේ , රංචුවේ අනෙක් ඇතින්නන්ගෙත්, කෙණරන්ගෙත් ආදරය සහ ආරක්ෂාව යටතේ උස් මහත් වන කෙනෙක්. ඉතින් එහෙම තියෙද්දිත් මේ පුංචි අලි පැටවා අතරමං වුණේ කොහොමද? ”

“මේ අලි පැටියා ගැන හෝඩුවාව අපිට කියපු ගැමියා ගෙන් මම පස්සේ කරුණු විමසද්දි දැන ගන්නට ලැබුණා නාමල් ගැවසුණු වනඅලි රංචුව දින කිහිපයක ඉදන්ම නාමල් ඔය අවට පට්ටිය කිද කණ්ඩියේ කැලෑව ආසන්නයේ ගැවසුණු බවට. තවත් දෙයක් කයන්නට ඕනේ. මේ අලි පුංචාට නාමල්ය කියන නම පටබැදුණු අයුරු. නාමල් ඔය කියන්නේ මගේත් ගම.ඒක පිහිටලා තියෙන්නේ ගල් ඔය ජාතික උද්‍යානයටත්, ගල්ඔය ඊසාන දිග අභය භූමියටත් මායිම්ව අම්පාර දිස්ත්‍රීක්කය තුළයි. ලස්සන ගමක් .ඉතින් නාමල් ඔය ප්‍රදේශයෙන් සොයා ගත් නිසා මගේ ගම සිහි වෙන්න පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා හා අපගේ පශු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සියළු දෙනාගේ කැමැත්ත මත මේ අලි පුංචාට “නාමල් ” කියන නම තිබ්බා. ඉතින් මේ වෙන කොට මුළු ලෝකයම නාමල් කියන අලි පැංචාගේ නම හදුනනවා. හැබැයි මේ වෙන කොට නම් නාමල් කියන්නේ වයස පහකට විතර කිට්ටු වුණු උස අඩි හයක විතර වැඩුණු අලියෙක්. අපිට කැලේ අතරමංව හමු වෙද්දි වයස මාස තුනහමාරක් විතර ඇති. මේ වයසේ අලි පැටියෙක් කියන්නේ අම්මාගේ නිරන්තර අවධානය යොමු වන වයසක්. එහෙම වයසක සිටියත් බොහෝ විට අපිට අතරමංවෙලා ඉද්දි හමු වන්නේත් ඔය වගේ අයම තමයි. මොකද ඒ වගේ පැටියෙක් යම් අනතුරකට භාජනය විය හැකි අවස්ථාවන් වැඩියි. කැලය පිළිබදව මේ අයට තියෙන්නේ නොමේරු අත්දැකිම්. මේ කියන නාමලුත් එයාගේ රංචුවේ සම වයස් මට්ටමේ යාලුවන් එක්ක සෙල්ලම් කරමින් තමයි ඉදළා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අම්මලා, ආච්චිඅම්මලා, නැන්දලා නිදිය ගත්ත අතර වාරයේ මේ යාලුවෝ ටික කැලය ඇතුළේ සෙල්ලම් කර කර ඉද්දි නොදැනුවත්වම ඔය කියන කලවැල්ගාල සමීපයට යන්ට ඇති. නාමල්ගේ කකුල කලවැලක පැටලෙන්නට ඇති. බේරීමට උත්සාහ කරමින් කෑ මොර ගාන්නට ඇති. අම්මත්, අනෙක් අයත් ඇවිත් නාමල් බේරා ගන්නට කළ උත්සාහයේදී කකුල තව තවත් කල වැලේ හිරවෙන්නට ඇති. මම නාමල් හිටිය හරිය පරික්ෂා කරද්දි මට වැටහුණු දෙයක් තමයි මෙයාව බේරා ගන්නට අලි රංචුව දින තුනක් විතර මහන්සි වෙලා තියෙනවා. මුළු කලවැල් ගාලම පොඩි වෙලා. නමුත් නාමල් බේරා ගන්න කරන උත්සාහය ඵලක් නැති බව වටහා ගත්තු අලි රංචුව පස්සේ ඔහුව අතහැර යන්නට තීරණය කරන්නට ඇති. අම්මාත් ඉතින් මොනවා කරන්නද? ඇයත් නාමල්ව අතහැර යන්නට දුකින් හරි තීරණය කරන්නට ඇති. කැලේ හැටි ඔහොමයි. දුර්වලයා ඉක්මණින් මිය යනවා. ශක්ති වන්තයා වැඩි කලක් ජීවත් වෙනවා.

ඉතින් අම්පාර පශු වෛද්‍ය ඒකකය ඇසුරේ මාස තුනහාමාරකට ආසන්න වන කාලයක් හැදී වැඩුණු නාමල්ගේ සෞඛ්‍ය තත්වය යහපත් වුණත් කල් යත්ම කලවැලට හිර වුණු කකුළ රත්පැහැ ගැන්වෙමින් නාමල්ට අඩිය තියලා යන්නට නොහැකි තත්වයක් පෙන්නුම් කළා. අපි නාමල්ව උඩවලව ඇත් අතුරු සෙවණට යොමු කරන්නට උත්සාහ කළත් ඒ වෙන කොට උඩවලව ඇත් අතුරු සෙවණේ ප්‍රමාණාත්මක අලි පැටව් සංඛ්‍යාවක් සිටි නිසා ටික දවසකට එය ප්‍රමාද වුණා. පස්සේ පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා සහ උඩවලව පශු වෛද්‍ය තුමන්ගේ මැදිහත්වීම මත නාමල්ව උඩවලව ඇත් අතුරු සෙවණට පිටත් කරලා යැව්වා. ඒ අම්පාර පශු වෛද්‍ය ඒකකයේ කාර්ය මණ්ඩලය ටික කාලයක් යන තුරු නාමල්ව උඩවලවේ ඇත් අතුරු සෙවණේ නතරව සිට නාමල්ගේ ආවතේවාවන් සිදු කරන තීරණයද සමගයි. මමත් අම්පාරේ ඉදන් උඩවලවට ගිහින් නාමල්ව මාසයකට ආසන්න වන කාලයක් බලා ගත්තා. ඒ කියන්නේ උඩවලවට අරගෙන ආවායින් පස්සේ නාමල්ගේ කකුලට නිසි අයුරින් ප්‍රතිකාර කිරීම ආරම්භ කළා. නමුත් එයාගේ වම් පාර්ශවයේ පිටුපස කකුල , කලවැලට හිර වී තිබුණු කකුල තුවාලය නිසා වෙන් කකුල යට හරිය ඇද වී විලුඹ බිම වැදීම නිසා අලුත් තුවාලයක් හැදිලයි තිබුණේ. ඒ කියන්නේ මම හිතන විදිහට කකුලේ යට අඩිය ඉස්සරහට නවලා අසිරුවෙන් බිම තිබ්බ නිසා වෙන්නට ඇති කකුල කපන තැනට පත් වු‍ණේ. වෙනත් අලි පැටවුන් බලා ගන්නවා වගේ නෙවෙයි. නාමල් කියන්නේ සුවිශේෂි අලි පැටවෙක්.

අතරමංවී උඩවලවට ගෙන එන වෙනත් වනඅලි පැටවුන් රැක බලා ගන්නේ මිනිස් ඇසුර බොහෝ දුරට දුරස් වන ආකාරයටයි. මොකද එයාලා නිසි වයස සපුරත්ම තනිව ජිවත් වීම සදහා යළිත් වනාන්තරයට නිදහස් කිරීම තමයි ඇත් අතුරු සෙවණේ අරමුණ. නමුත් නාමල්ගේ තත්වය ඊට ඉදුරාම වෙනස්. එක් කකුලක් ආබාධිතයි. යළිත් වනාන්තරයට නිදහස් කරලා තනිව ජීවත් වීමට අවශ්‍ය කරන ශාරීරික යෝග්‍යතාවය අතින් නාමල් ඉන්නේ අනෙක් වනඅලි පැටවුන්ට සාපේක්ෂව පසු පසිනුයි. ඔහුව රැක බලා ගද්දි විශේෂ වු අවධානයක් යොමු කරන්නට වෙනවා. නිසි වෙලාවට තුවාල වලට ප්‍රතිකාර කරන්නට වෙනවා. නාමල්ට ප්‍රතිකාර ලබා දීමේදී වෛද්‍ය තුමාට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතුයි. කලට වේලාවට කිරි ලබා දීම සිදු කළ යුතුයි. නාමල් රදවා ගෙන සිටින කූඩුව පිරිසිදු කළ යුතුයි. නෑවිය යුතුයි. ඉතින් ඒ සදහා නාමල්ටම අයෙක් කැප වී සිටිය යුතුයි. මේ සියල්ලම අපි කළේත්, කරන්නේත් රාජකාරියකට එහා ගිය යහපත් චේතනාවකිනුයි. හඩක් තෙපළිය නොහැකි වනජීවීන්ට අපත් නැතිනම් වෙන කාගේ සරණක්ද?

නාමල් අද ඉන්න තත්වය ගැන මට තියෙන්නේ සතුටක්. එදා අසරණව හිටිය නාමල්ද මේ ඉන්නේ ? මම මගෙන්ම අහන අවස්ථාවන් අපමණයි. කැලේ කලවැලක පැටලී මරණයේ වේදනාවෙන් දගළපු නාමල්ද අද මේ දුව පැන ඇවිදින්නේ. ඉතින් අද නාමල්ට ජාත්‍යන්තරයේත් අවධානය යොමු වෙලා තියෙන මොහොතකදී මම අතීතය සහිපත් කළේ කාරණාවන් කිහිපයක්ම හිතේ තියා ගෙනයයි. නාමල් පිළිබදව තොරතුරු ලබා දීපු නාමල්ඔය ගැමියාගේ හිටන් කෘතිම පාදයක් ලබා දෙමින් නාමල්ට යළිත් ඇවිදිමේ වරම් ලබා දීම සදහා වෙහෙසුණු සැවොම මම සහිපත් කරන්නේ කෘතඥතා පූර්වකවයි. නමුත් නාමල් පිළිබදව කථාවෙන හැම විටෙකදීම කථා නොවෙන පිරිසකුත් පසු පස සිටිනවාය කියන දේ අපි අමතක නොකළ යුතුයි.

උපුල් ප්‍රියංග
නාමල් අද තනිවම ඇවිද යයි. ඒ කෘතිම පාදයක ආධාරයෙන් බව සැබෑය. තම රාජකාරී දිවියේ මතක හිටින දෙයක් කළ බවට සතුටු විය හැකි දායකත්ත්වයක් උපරිමයෙන් ලබා දුන් නිලධාරියෙක් ලෙසින් වනසත්ත්ව නියාමක උපුල් ප්‍රියංග මහතා හැදින්විය හැකිය. ඔහු වර්තමානයේ යාල ජාතික උද්‍යානයේ පලටුපාන පිවිසුමේ රාජකාරී සිදු කරයි. පුංචි නාමල් උඩවලව ඇත් අතුරු සෙවණට පැමිණි පසුව වසර අටකට ආසන්න කාලයක් නාමල්ගේ උපස්ථානයට කැප වුණු තවත් වනජීවී නිලධාරියෙක් කතරගම වනජීවී අඩවි ආරකෂක කාර්යාලයේ සේවය කරයි. ඒ ක්ෂේත්‍ර සහයක සාලින්ද බුද්ධික ගුරුවල මනම්පේරි මහතාය. ඔහු නාමල් පිළිබද තම අත්දැකීම්ද මෙසේ එකතු කළේය.

“ නාමල් අලි දැන් ලොකුයි. මේ පැටියා උඩවලවේ ඇත් අතුරු සෙවණ භාරයට ලැබෙන කොට පුංචිම පුංචි පැටියෙක්. එදා පුංචියට උන්නු නාමල් අද තරුණ වියට පා තබන සද්දන්ත කුලේ සාමාජිකයෙක්ගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒක දකින කොට මට හරිම සතුටුයි. නාමල් උඩවලව ඇත් අතුරු සෙවණට එනකොට මං වැඩ කළේ ඇත් අතුරු සෙවණේ බාහිර රෝගී අංශයෙයි. මට පැවරිලා තිබුණේ අවතැන් ව ඇත් අතුරු සෙවණට භාර වෙන සතුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සදහා වනජීවී පශූ වෛද්‍යතුමන්ලා ඇතුළු කාර්යය මණ්ඩලයට අවශ්‍ය සහය ලබා දීම වගේම ඒ සතුන්ට අවශ්‍ය ආහාර පානාදිය ලබා දීමයි. නාමල් මුල් දවස් වල හොදින් උන්නා. පස්සේ පස්සේ එයාගේ ආබාදයට ලක් වුණු කකුලේ තුවාලයක් ඇවිත් ඒ කකුලෙන් කොටසක් අයින් කරන්න උනා. ඒ සැත්කම ඇත් අතුරු සෙවණ භාරව උන්නු වනජීවී පශූ වෛද්‍ය විජිත පෙරේරා සර්ගේ මූලිකත්ත්වයෙන් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සහයෙන් සාර්ථකව සිදු වුණා. ඒ සැත්කමට පස්සේ නාමල්ගේ තුවාලේ හොද වෙනකන් එයාව හොද පරිස්සමට භාර ගන්න වගකීම පැවරුණ අය අතරින් මමත් කෙනෙක්. නාමල් සැත්කමට භාජනය වෙලා පිටිපස්සේ කකුලට වෙලුම් පටි යොදලා මාස කිහිපයක්ම තියන්න වුණේ කකුලට විෂබීජ නොයන්න වගේම කකුලේ තුවාලේ වේලෙනකන්. ඒත් මේ අලි පැටියව එක තැනම තියා ගෙන ඉන්න එක ඒ පැටියගේ සෞඛ්‍ය තත්ත්වයට ගැටලු ඇති කරන තත්ත්වයක් දක්වා වර්ධනය වෙන එක නවත්තන්නත් එක්ක වනජීවී පශූ වෛද්‍ය විජිත සර් නිර්දේෂ කළා අලි පැටියව ඇවිද්ද වන්න. ඒක හරිම පරිස්සමට කරන්න ඕන දෙයක්. මොකද පිටි පස්සේ කකුල බිමට තියලා වීරිය ගද්දි තුවාලේ පෑරෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා නාමල් පිටි පස්සේ කකුල බිමට තියන කොටම මම ඒ කකුලට යෙදෙන බලයෙන් තුවාලේ තෙරපෙන එක නවත්තන්න වෙලුම් යොදපු කකුල බිමට නොහිටින්න මගේ වීරියෙන් අත් දෙකින් උස්සනවා. මගේත්, අපේ අනික් අයගෙත් සහයෙන් නාමල් මේ විදිහට තුවාලේ වේලෙනකන්ම ඇවිද්දුවා. ඒක නාමල්ගේ සෞඛ්‍ය තත්ත්වය රැක ගන්න හොද ව්‍යයාමයක් උනා වගේම පැටියෙක් වුණාට අලියෙක්ව ඇවිද්දවනවා කියන එක අපිටත් වෙහෙසකර වුණු ව්‍යායාමයක් වුණ බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ”

සාලින්ද බුද්ධික මනම්පේරි
සාලින්ද මනම්පේරී සිනා මුසු මුහුණින් පවසයි. ඒ සිනාව සැබැවින්ම නිර්ව්‍යාජය. නමුත් මෙසේ සිනා මුසුව පසුවෙමින් නාමල් ගැන අප නොදත් යට ගියාව හාරා අවුස්සන සාලින්ද වැනි නිහඩ චරිත අපමණවත් වනජීවී සංරක්ණ දෙපාර්තමේන්තුව සතුව සිටින බවත් කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුමය. ඔවුන්ගේ සේවය නිහඩය. නමුත් උතුම්ය.

පිටිපස වම් පාදයේ සැත්කමෙන් අනතුරුව නාමල්ට කෘතිම කකුලක් නිර්මාණය වන්නේද වනජීවී නිලධාරීන්ගේ අදහසකට අනුවය. ඒ සදහා ශ්‍රී ලංකාවේ කෘතිම පාද නිෂ්පාදනයට මුල් වු සමාගම් කිහිපයක්ම තමන්ගේ දායකත්ත්වය නොමසුරුව ලබා දී ඇත. නාමල්ට පළමු කෘතිම පාදය නිර්මාණය වු ආකාරය ගැන සාලින්ද මෙසේ පවසයි.

“ ඔව් මට මතක විදිහට නාමල්ට ඉස්සෙල්ලාම කෘතිම පාදේ හදන්නේ කළුතර අවාස් කියන ආයතනය විසින්. ඒ අය මුලින්ම නාමල්ගේ සැත්කමට භාජනය වුණු කකුල පාස්ටෝ පැරිස් කියන ආලේපයෙන් වහලා පාදයේ ආකෘතියක් සකස් කළා. ඒ ආකෘතියට අනුව තමයි නාමල්ගේ බර දරා ගන්න පුළුවන් විදිහට පළමු කෘතිම පාදය හැදුවේ. ඒ පාදයේ අඩියට ස්පොන්ජී වැනි දේ දැමුවේ අලියගේ කකුලේ සැත්කම් කරපු තැන ආරක්ෂා වෙන විදිහටයි. මුලින් මුලින් මේ කෘතිම පාදේ පැළද ගෙන ඇවිදින එක නාමල්ට නුහුරු වුණත්, පස්සේ පස්සේ එයා ඒ පාදය පැළදගෙන ඇවිදින්න පුරුදු පුහුණු වුණා. මේ කෘතිම පාදේ මාස අටෙන් අටට විතර වෙනස් කරන්න වුණේ නාමල්ගේ වර්ධනයට සමගාමීවයි. මේ කාර්යය සදහා ඊට අදාළ ආයතන කිහිපයකින්ම අවශ්‍ය සහය නොඅඩුව ලැබුණු බවත් කෘතවේදීව මතක් කරන්න ඕනි.”

අසරණව සිටි නාමල් අලි පැටවා පසු පස සිටිමින්, නාමල්ට ශක්තියක් වෙමින්, අනාගතයේ දිනෙක ශක්ති සම්පන්න හස්ති රාජයෙකු ලෙසින් වර්ධනය වන බවට පෙර මග ලකුණු වර්තමානයේ පහළ කරනා මේ අලි පැටවාගේ දිවිය මේ දක්වා ඔසවා තැබූ අයවලුන් අතරේ උපුල් ප්‍රියංගත්, සාලින්ද මනම්පේරිත් ඒ අතීත මතකයන් අතරට සම වැදෙමින් ස්මතු කළ යථාර්ථය කුමක්ද?

නාමල් අලි පැටියා ගේ ජිවිතය බේරා ගැනිම සදහා මුල්ම තොරතුර ලබා දුන් අම්පාර නාමල් ඔය ගම්මානයේ ගැමියනුත්, තොරතුර ලද විගස ඒ සම්බන්ධයෙන් සොයා බලමින් අවශ්‍ය කටයුතු සිදු කළ අම්පාර වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ කාර්ය මණ්ඩලයත්, එවකට එම ඒකකය භාරව කටයුතු සිදු කළ පශු වෛද්‍ය ප්‍රමුදිත දෙවසුරේන්ද්‍ර මහතාත්, අම්පාර වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකය භාරයේ ප්‍රතිකාර ලැබූ මාස තුනහාමරකට ආසන්න වු කාලය තුළදී වෛද්‍ය ප්‍රමුදිත දෙවසුරේන්ද්‍ර මහතා නොමැති අවස්ථාවලදී නාමල්ගේ රෝගී තත්වය සදහා ප්‍රතිකාර ලබා දීම සදහා විශාල සහයෝගයක් සහ කැපකිරීමක් කළ අම්පාර රජයේ පශු වෛද්‍ය ලෙස එවකට සේවය කළ සපුමල් වෛද්‍ය තුමා සහ එතුමාගේ වෛද්‍ය බිරිදත්, අම්පාර මහ රෝහලේ ඇස් පිළිබදව එවකට සිටි වෛද්‍ය තුමා සහ අනෙකුත් වෛද්‍ය වරුන් සහ අලි පැටවාට කිරි , බෙහෙත් වර්ග ආධාර ලෙස ලබා දුන් අම්පාර ප්‍රදේශයේ ආදරණීය ජනතාව ඇතුළුව මහනුවර ප්‍රදේශයේ පින්වත් මහතුන් කිහිප දෙනෙකුත් බොහෝම ගෞරවයෙන් කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතු බව උපුල් ප්‍රියංග මතකය අවදි කරමින් පවසයි.

එසේම නාමල් පිළිබදව නිරන්තර අවධානයෙන් සිටිමින් ගත යුතු පියවර ගනිමින් නාමල්ට අලුත් ජීවිතයකට මග පෙන්වු වනජීවී පශූ වෛද්‍ය විජිත පෙරේරා මහතා ඇතුළු මේ දක්වා නාමල්ව රැක බලා ගත් උඩවලව ඇත් අතුරු සෙවණේ වනජීවී කාර්යය මණ්ඩලයත්, නාමල්ගේ සැත්කම් සදහා සහය වු පේරාදෙණිය පශූ වෛද්‍ය පීඨයේ සියලුම දෙනාවත් කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුමයි.

උඩවලව ඇත් අතුරු සෙවණේ දිවි ගෙවන නාමල්ගේ ජීවිත කථාව අසන්නකුගේ සිත තෙත් කරමින් නෙතට කදුළක් එකතු කරයි. නාමල් ගේ කතාන්තරය හරහා අපට බෝහෝ දෑ උගත හැකි බව මේ කථාව අවසානයේ ඔබට වැටහෙනු නියතය. මෙම ලිපිය කියවා අවසාන වන ඔබගේ සිතේ අලින් රැක ගැනුම අරඹයා කළ හැකිදේ, කළ යුතු දේ ගැන එක් සිතුවිල්ලක් හෝ ජනිත වන්නේ නම් එය බෙහෙවින්ම වැදගත්ය.

⋆.සේයා රූ - Blue Green Media – Department Of wildlife Conservation

Comments

Popular posts from this blog

නාගරි කරණයෙන් ඔත්පල සොබාදහම සුවපත් කරනා හොර කැළය ....

TAXIDERMY