TAXIDERMY

දැන ගෙන කළොත් හරි මග
නොදැන කළොත් අතර මග ......................... 

සදමල් රශ්මි ශ්‍රී බුද්ධික (sandamal202@gmail.com) 

ඔක්තෝබර් මස 01 වැනි දිනට යෙදෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 73 වසර සපිරීම නිමිත්තෙන් සංරක්ෂණයේ නවමු සංකල්පයක් වන චර්මපරිකල්ප ශිල්පය පිළිබදව කෙරෙන විමසුමකි. Video


චර්මපරිකල්ප ශිල්පයේ පුරෝගාමියා ඒ.එල්. ජයසූරිය
වනජීවී සංරක්ෂණ විෂය පථය පුළුල් පරාසයක් තුළ දිව යන්නක්. මානවයාගේ හිතසුව පිණිස සොබාදහමින් සිදු වන නිහඩ සේවය මිනිසාගේ සිතුම් පරාසයටත් ඔබ්බට විහිද යයි. සොබාදහමේ හැසිරීම කෙබදු දැයි හගවන්නට මිනිසා හමුවට පැමිණ සිටින දූතයන් ලෙස ගහ කොළ සතා සිව්පාවුන් හැදින්විය හැකිය. 

ශ්‍රී ලාංකේය වනජීවී සම්පත සුරක්ෂිතව අනාගතයට දායාද කිරීමේ භාරදූර වු රාජකාරියට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවතීර්ණව හිදියි. මේ වන විට වසර 73 කට ආසන්න අත්දැකීම් සම්බාරයකින් පිරිපුන්ව ලැබූ අත්දැකීම් සහ විෂයානුබද්ධ පර්යේෂණාත්මක පසුබිමක පිහිටමින් සංරක්ෂණයේ නවමු මානයන් කෙරෙහි අවධානය යොමු කර ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ පණිවිඩ ජනතාව අතරට රැගෙන යා හැකි නවමු සංකල්පයක් ලෙස සංරක්ෂණයට භාජනය කළ සත්ත්ව නිදර්ශක කෞතුකාගාර හැදින්විය හැකිය. ගිරිතලේ වනජීවී පුහුණු කේන්ද්‍රයේ පිහිටවා ඇති වනජීවී සත්ත්ව නිදර්ශක මධ්‍යස්ථානය සේම කල්පිටිය සමුද්‍ර සත්ත්ව විශේෂයන් ඇතුළත් සත්ත්ව නිදර්ශක සහිත සංරක්ෂණ මධ්‍යස්ථානයත් මහජනතාව සදහා විවෘතව ඇත. එම ස්ථාන වලට පැමිණ චර්මපරිකල්ප ශිල්පය පිළිබදව මෙන්ම ශ්‍රී ලංකාවේ දුර්ලභ වනසත්ත්ව විශේෂයන් පිළිබදවත් බොහෝ දේ සත්ත්ව නිදර්ශක පරිශීලනය කරමින් හැදෑරිමේ අනැගි අවස්ථාව වර්තමානයේ උදා වී ඇත. ක්ෂේත්‍රයේ පළ පුරුදු නිලධාරීන් චර්මපරිකල්ප ශිල්ප විද්‍යාව ගැන, චර්මපරිකල්ප ශිල්පී කලාව ගැන නිරන්තර අභ්‍යාස වල නියැලෙමින් සත්ත්ව නිදර්ශක සකස් කරමින් වනජීවී සංරක්ෂණ නිලධාරීන් ලෙස තම නිර්මාණ තුළින් පළ කර ඇති දක්ෂතාවයන් කෙබදුදැයි එම ස්ථාන වල ඇති සත්ත්ව නිදර්ශක වල ගුණාත්මක බව තුළින් මනාව ස්මතු කර පෙන්වයි. 




මිය ගිය සත්ත්ව මළ සිරුරු නැවත සකස් කරමින් සත්ත්ව නිදර්ශක සෑදීම විද්‍යාත්ම පදනමක් මත පිහිටා නිම කළ යුතු කලාත්මක කටයුත්තකි. මෙම විද්‍යාත්මක කලාව හදුන්වන්නේ TAXIDERMY යන ග්‍රීක් වදනින්ය. එම වදනේ අර්ථය සොයා බැලීමට නම් ග්‍රීක් වදන ඛාණ්ඩ දෙකකට බෙදා ගත යුතුය. TAXIS යෙදුම ඉංග්‍රීසි වදනින් arrangement ලෙසත්, DERMA යෙදුම ඉංග්‍රීසි වදනින් skin ලෙසත් පෙරළාගත් කල එහි සිංහල අර්ථය පැහැදිලි කර ගත හැකිය. එනම් සම නිවැරදිව සකස් කිරීම යන අර්ථය ඉන් ගම්‍ය කරයි. මූර්ති ශිල්පියෙක් ඉතා සියුම්ව ප්‍රවීණත්ත්වය මත ලැබූ පන්නරයෙන් බිහි කරන උසස් කලා නිර්මාණයක් හා සමානව චර්මපරිකල්ප ශිල්පියා තම වෘත්තීය අත්දැකීම් මත පිහිටා විද්‍යාත්මක වු භාවිතයක් හරහා බිහි කරනා TAXIDERMY නිර්මාණත් හැදින්විය හැකිය. මෙම විෂය පිළිබදව දැන සිදු කරන නිර්මාණ හරවත් වු භාවිතයන් ලෙස එක්කර ගත හැකි වුවත්, නිවැරදි අවබෝධයක් නොමැතිව TAXIDERMY කරණයේ නියැලීම යනු විසුළු බවට පත් නිර්මාණයක් බිහි කිරීමක් හරහා සමාජය තුළ හාස්‍ය උපදන්න කළ වෑයමක් ලෙසින්ද හැදින්විය හැකිය. 

TAXIDERMY ලෙස හදුන්වන චර්මපරිකල්ප ශිල්පය වනජීවී විෂය පථයට එක් වීම හරහා නවමු වු සංරක්ෂණ සංකල්පයක් ගොඩ නැගීමට හැකියාව උදා වී තිබේ. TAXIDERMY විෂය සම්බන්ධ මනා හැදෑරිමක් සහිතව සත්ත්ව නිදර්ශක සකස් කිරීමේ මනා පරිචයක් ලබා ඇති වනජීවී සංරක්ෂණ නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු බව අභිමානයෙන් යුතුව සදහන් කළ හැකිය. ඔවුන් වෘත්තීයක් ලෙස TAXIDERMY කරණයේ නොයෙදුණද, එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් මෙන් මනා පරිචයක් ලබා ඇත්තේ චර්මපරිකල්ප ශිල්පීය අත්දැකීම් මත පදනම්වය. තමන් සතු ශිල්පීය ප්‍රවීණත්ත්වය භාවිතයට ගනිමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අරමුණු සහ දැක්ම අනුව යමින් සංරක්ෂණයේ නවමු මානයක් වෙත අවධානය යොමු කිරිමට සමත් නිර්මාණ රැසක්ම මේ වන විටත් ඔවුන් අතින් බිහි වී ඇත. 

Mr. Thomson, Animal and Bird Preserver to the Leverian 
and British Museum in 1802 - Source: Wikipedia
චර්ම පරිකල්ප ශිල්පයට ඇත්තේ දිගු ඉතිහාසයකි. ඉජිප්තු ශිෂ්ඨාචාරය දක්වාම දිව යන දිගු ඉතිහාසයක්
චර්මපරිකල්ප ශිල්පයට අයත්ය. මමි කරණයද මෙහි මුල් ආකෘතියක් ලෙස සදහන් කළ හැකිය. චර්මපරිකල්ප ශිල්පය කලාවක් ලෙස, කර්මාන්තයක් ලෙස ලොව පුරා ප්‍රචලිත වෙන්නේ යටත් විජිතකරණයට සමගාමීවය. ඉංග්‍රීසී යටත් විජිතකරණය විසින් රට රටවල් වල සම්පත් සූරා කෑමට අමතරව යටත් විජිත රටවල ආරක්ෂාව සදහා කටයුතු කළ සොල්දාදුවන් විසින් ක්‍රිඩාවක් විදිහට යටත්විජිත වල වනසතුන් දඩයම් කිරීම සිදු කර ඇත. දඩයම ඔවුන් සිදු කළේ ඒකාකරි බව නැති කර ගැනීමේ ක්‍රිඩාවක් ලෙසටය. තමන් විසින් දඩයම් කරන වනසතුන්ගේ හිස්, සම් කුසලාන ලෙස එකතු කිරීමට ඔවුන් නිරන්තරවම පෙළඹුණි. ඒ සදහා ඔවුන් තමන් සතු සත්ත්ව සැමරුම් කුසලාන රැකගැනීමට ප්‍රාථමික ක්‍රම භාවිතයට ගෙන ඇත. මුල් කාලිනව මරා ගත් සතාගේ සම අළු දමා වේලා ගැනීම, ඇලම් බදු කෙමිකල් වර්ග සුලු ලෙස යොදා ගෙන කල් තබා ගැනීම සිදු කර ඇත. තමන් ගිය රටවල කළ දඩයම් කෙළි සිහිපත් කිරීමට තමන්ගේ නිවසේ සත්ව හිස්, සම් ආදිය ප්‍රදර්ශනය සදහා එල්ලා තබා ගෙනද ඇත. ඒ ස්මරණය සදහාය. ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම සත්ත්ව නිදර්ශක දෙකක් ලෙස දියතලාව යුධ හමුදා පුහුණු පාසලේ වසර 120 - 130 කට වඩා පැරණි කුළු හරකුන් දෙදෙනෙක්ගේ හිස් දෙකක් පුරවා එල්ලා ඇති ආකාරය නිදසුන් ලෙස සදහන් කළ හැකිය. එම නිදර්ශක දෙක අප රට තුළ සිදු වු යටත්විජිතවාදී දඩයම් කෙලි වලට හොද උදාහරණයන් වේ. එසේම ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානයේ සහ හග්ගල් අඩවි ආරක්ෂක කාර්යාල වල ප්‍රදර්ශනය සදහා තබා ඇති ගෝණ හිස් කබල්ද යටත්විජිත යුගයේ සිදු වු ගෝණ දඩයම කෙබදුදැයි වටහා ගැනීම සදහා පිරිශීලනය කළ හැකි චර්මපරිලප ශිල්පයට ලක් වු නිදර්ශක ලෙස සදහන් කළ හැකිය. එහි ඉතිහාස කථාව හොර්ටන්තැන්න ආශ්‍රිත සත්ත්ව දඩයමේ නියැලුණු සැමුවෙල් බේකර් ගේ සමය දක්වාම දිව යයි. 

නව සත්ත්ව විශේෂ ලෝකයට හදුන්වා දීමේදී සතුන්ගේ රූප සටහන් ඇදීමත්, සත්ත්ව නිදර්ශක සෑදීම යන ක්‍රියාවළිය අවසන සත්ත්ව නිදර්ශක එකතුන් බවට පත් වෙමින් ඒවා කෞතුකාගාර එකතුවක් දක්වාම දක්වාම වැඩි දියුණුව ක්‍රමිකව සිදු විය. චර්මපරිකල්පය යනු කලාවත් සමග බද්ධ වුණු විෂයකි. මිය ගිය සතාගේ ජීවමාන ස්වරූපයට සමානතාවයක් සතාගේ සම පුරවා හදන ඩමියටත් ලබා දීම කොට්ට උරයකට පුළුන් පුරවා සකස් කිරීම මෙන් ඉතා පහසු ක්‍රියාවක් නොවන බව ප්‍රායෝගික වු සත්‍ය වේ. එය භාරදූර කාර්යයකි. මූර්ති කරණයේ නියැලෙන කලාකරුවෙක් තම නිර්මාණයට සාධාරණත්ත්වයක් ඉටු කිරීමට වෙහෙසෙනන්නාක් බදුව ඊට සාපේක්ෂව වඩාත් සංකීර්ණ වු ක්‍රියාවළියක් හරහා මිය ගිය සත්ත්වයෙක් යළි සකස් කිරීමේ කාර්යය වඩා සීරු මාරුවට කළ යුතුය. එම කාර්යයේ නියැලෙන්නා තුළ කලාත්මක ඇසක් මෙන්ම විද්‍යාත්මක වු පසු බිමක් තුළ පිහිටවු බුද්ධියකුත් තිබිය යුතුය. විද්‍යාත්මක වු පසුබිම තුළ මෙම කාර්යයේ පදනම වැටී ඇත්තේ එය අවසාන සාර්ථකත්ත්වයට විද්‍යාත්මක දත්තයන්ද බෙහෙවින්ම ඉවහල් වන බැවින්ය. මෙහිදි චර්ම පරිකල්ප ශිල්පයට භාජනය වන මිය ගිය සතාගේ සිරුරේ ප්‍රමාණය, සිරුරේ විවිධ ඉරියව්, අස්ථි පද්ධතියේ සැකැස්ම වැනි දේ පිළිබදව විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතුය. එනම් විද්‍යාත්මක වු හැදෑරීමක් මෙන්ම විද්‍යාත්මක අධ්‍යාපනයකුත් මේ නිර්මාණකරණය තුළින් ලබා දීමට සහ ලබා ගැනීමට හැකිය. 

සත්ව නිදර්ශකය සැකසීම
මිය ගිය සත්ත්ව මළ සරුරක සිට අවසන් නිමැවුම වන සත්ත්ව නිදර්ශකයක් දක්වා සැකසීමේ කාර්යය ඒක් දවසින් - දෙකෙන් - සතියෙන් - මාසෙන් කළ හැකි කටයුත්තක් නොවන්නේය. ඒ සදහා නිශ්චිත කාල රාමුවකට අනුව ටැක්සඩර්මී ශිල්පයේ නියැලෙන ශිල්පියා කටයුතු කළ යුතුය. එනම් මුල - මැද - අග යන අවස්ථා අතර පිළිවෙළින් පසු කළ යුතු පියවර ඇත. සත්ත්ව නිදර්ශකයක් හැදීමේදී වැදගත් විය යුතු කරුණු අතර පළමුවෙන්ම අපිට ලැබෙන සත්ත්ව මළ සිරුර නිදර්ශකයක් ලෙස සකස් කරන්න පුලුවන් සුදුසු තත්ත්වයේ තිබේද පරික්ෂා කරීම පළමු විදගත් පියවර වේ. මන්ද යත් සත්ත්ව මළ සිරුර අවසාන නිමැවුම දක්වා ගෙන ඒමට නම් ඊට අනන්‍ය වුණු ශාරීරික ලක්ෂණ ගැන පූර්ව අවබෝධයෙන් අදාළ පරික්ෂාව සිදු කළ යුතුය. එනම් ඒ සත්ත්වයා මිය ගොස් සිටියත්, ප්‍රාණය නිරුද්ධ ඒ සිරුරටත් හිමි ගෞරවය ලබා දීමට, ටැක්සිඩර්මී කරණයට ලක් වෙන සත්ත්ව මළ සිරුර අවසානයේ ඒ සත්ත්වයාගේ ජීවමාන රූපයට බොහෝ සෙයින් සමාන විය යුතුමය. නැතිනම් විකෘති වු සත්ත්වයෙක් බිහි වීම තුළින් චර්මපරිකල්ප ශිල්පයට ලක් වු සත්ත්ව විශේෂය අවතක්සේරුවට වුවද ලක් විය හැකිය. එබැවින් ඒ ගැන විශේෂයෙන් අවධානයක් යොමු කළ යුතුමය. සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන සත්ත්ව නිදර්ශක ලෙස සකස් කළ නමුත් විකෘති වුණු සත්ත්ව නිදර්ශක සැබැවින්ම නොදත් දේ කරන්න ගිහින් අමාරුවේ වැටුණු අවස්ථාවන් පිළිඹිඹු කරන අවස්ථාවන්ට උදාහරණ ලෙස සදහන් කළ හැකිය. 

මිනුම් සටහන් ලබා ගැනීම
මෙහිදී මිය ගිය සත්වයාගේ බාහිර හැඩය ගැන හොදින් අවධානය යොමු කළ යුතුමය. සත්වයා මිය ගොස් පැය 24 තුළ මළ සිරුර ලබා ගත හැකි වීම තුළ සත්ත්වයාගේ බාහිර සොබාවික ගති ලක්ෂණ ආරක්ෂා වෙන පරිදි සත්ත්ව නිදර්ශකය සකස් කිරීමේ ඉඩ ප්‍රස්ථාව වැඩි ය. ක්ෂේත්‍රය තුළදී සත්ත්ව මළ සිරුරක් හමු වු විට එය ගද ගැසුවද බාහිර ස්වරූපය ආරක්ෂා ව ඇත් නම් එම මළ සිරුර චර්ම පරිකල්ප ශිල්පයට ලක් කළ හැකි බැවින් අත හැර දැමීම සුදුසු වන්නේ නැත. මුලින්ම සත්ත්ව මළ සිරුරේ බාහිර හැටි සොබාව නිරීක්ෂණය කරමින්, සේය රූ සහ සටහන් ලබා ගැනීමෙන් පසුව සත්ත්වයාව සකස් කළ හැකි සුදුසු තැනක් වෙත රැගෙන ආ යුතුය. ක්ෂේත්‍රය තුළ මිය ගිය සතා ඉන්න තැනට යන විට සතා දමා ගෙන ඒම සදහා සුදුසු අසුරණයක්, ෆොමිලින්, ඇල්කොහොල් ද්‍රවණ වැනි අවශ්‍ය මූලික ද්‍රව්‍යයද රැගෙන යා යුතුය. සුදුසු පරිදි සත්ත්ව සිරුරට රැගෙන ගිය රසායනික ද්‍රව්‍ය යොදා සත්ත්වයා සකස් කිරීමට පහසු තැනට කඩිනමින් රැගෙන ආ යුතුය. ප්‍රවාහනයට අපහසු ලොකු සතෙක් නන් සත්ත්වයාගේ බඩ පදෙස අභ්‍යන්තරයෙන් ඉවත් කර බර අඩු කර රැගෙන ආ යුතුය. සත්ත්ව නිදර්ශක සකස් කිරීමේදී එක් එක් සත්ත්ව විශේෂයට එක් එක් ක්‍රමවේදයන් භාවිතයට ගැනීම සිදු කරයි. 

ටැක්සඩර්මි යනු විද්‍යාව හා කලාව ප්‍රගුණ කරමින් අවතීර්ණ විය යුතු ශිල්පයකි. එසේම විද්‍යාව සහ කලාව මුසු කරමින් කෙතරම් අගනා නිර්මාණයන් බිහි කළ හැකිද යන කාරණය සනාථ කළ හැකි සාධක ටැක්සිඩර්මි ශිල්පය තුළ අන්තර්ගතය. මිය ගිය සත්ත්වයෙක්ගේ සම උපයෝගි කර ගෙන යළිත් එම සත්ත්වයාව යතා පිරිද්දෙන්ම සකස් කරද්දි මේ සත්ත්වයා ගැන පූර්ව අවබෝධයක් නිර්මාණ කරුවා සතු වීම වැදගත්වේ. සත්ත්වයා බාහිර පරිසරය තුළ ජීවත් වු අයුරු, එනම් සත්ත්වයාගේ බාහිර චර්යාවන් පිළිබදව පූර්ව චිත්‍රයක් නිර්මාණකරුවාගේ මනසේ ඇදී තිබිය යුතුමය. 

ඒ කියන මූලික කරුණු සපුරා ගැනිමේන් අනතුරුව සතාගේ චර්ම විච්ඡේදනයේදී නිවැරදිව කැපුම යෙදීම, අභ්‍යන්තර අස්ථිවල හැඩ ගැහීම අධ්‍යයනය කිරීම, අස්ථි අස්ථි අතර සහ සම්බන්ධය, එක් එක් අස්ථි අස්ථි වලින් කෙරෙන කාර්යය කුමක්ද? ඒ ඒ අස්ථි අතර ඇති සහසම්බන්ධතාවය කෙබදුද වැනි කාර්යයන් ගැන දැන ඉගෙන ගනිමින් ටැක්සඩර්මි ශිල්පයේ නියැලීම සාර්ථක නිර්මාණයක් බිහි කිරීමේ මාර්ගෝපදේශයක් ලෙසින්ද හැදින්විය හැකිය. පෙර සදහන් කළ කාරණා ගැන අවධානයෙන් මෙබදු කාර්යයන් වල නියැලීම මෙන්ම, ඒ ආකාරයට හදන සතුන්ගේ ඩමීත් බෙහෙවින්ම සාර්ථක නිර්මාණ බවට පත් වෙන බවද සදහන් කළ හැකිය.


සේයා රූ: Blue Green Media – Department Of wildlife Conservation



Comments

  1. Replies
    1. පසු පෙවීමට ස්තුතියි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෑතකදී කළු කොටියකු සකසා නැත. මෙම දෙපාර්තමේන්තුව විසින් සකසන ලද කළු කොටි අනුරුව ගිරිතලේ වනජීවි කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. ඔබ අමුණා ඇති පින්තූර දර්ශනය නොවෙතත් මෑතකදී සංසරණය වූ එවන් පින්තූර මෙම දෙපාර්තමේන්තුවේ සකසන ලද ඒවා නොවේ. මෙම තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළු මෙම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ඉදිරියේ දී පවත්වනු ඇත. එවැන්නකට සහභාගිවීමට ආරාධනා කරමු. - ස්තුතියි

      Delete

Post a Comment

Popular posts from this blog

නාගරි කරණයෙන් ඔත්පල සොබාදහම සුවපත් කරනා හොර කැළය ....

Exacum sessile